• ඔබ මෙතැනය:  
  • මූලය > ඉතිහාසය

    අතීතයේ “සිලෝන්” නමින් හඳුන්වනු ලැබූ ශ්‍රී ලංකාවේ වර්තමාන විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ආරම්භය බ්‍රිතාන්‍ය පාලන සමය තරම් ඈතට දිවයයි. පවතින වාර්තාවලට අනුව වර්ෂ 1796 දී දිවයිනේ මුහුදුබඩ පළාත් බ්‍රිතාන්‍යයින්ගේ ආධිපත්‍යයට යටත් වීමෙන් වර්ෂ තුනකට පසු 1799 වසර වන විට සෙසිල් ස්මිත් නම් වූ පුද්ගලයෙක් විගණකාධිපති වශයෙන් සේවය කොට ඇත. ඔහුගේ තනතුරු නාමය ගණකාධිකාරී සහ විගණකාධිපති වශයෙන් හඳුන්වනු ලද නමුත් ඔහු ඉටුකළ රාජකාරියේ ස්වභාවය පිළිබඳ නිශ්චිත තොරතුරු හමුවී නොමැත. ඔහුගේ තනතුරු නාමයට අනුව ඇතැම්විට ඔහු නමින් භාණ්ඩාගාරයේ ගණකාධිකාරීවරයා ලෙස ද භාණ්ඩාගාරයේ ගිණුම් ද ඇතුළුව රජයේ ගිණුම් සම්බන්ධයෙන් වගකීම දරන විගණකාධිපති ලෙස ද ද්විත්ව රාජකාරියක් ඉටුකරන්නට ඇති බවට අනුමාන කළ හැකිය. වත්මන් තත්ත්වයට අනුව එවැනි සැලැස්මක් ස්වාධීන සහ ඵලදායී විගණන ක්‍රියාවලියක් සඳහා උර දෙන්නන් වශයෙන් සැලකිය නොහැකිය.

    වර්ෂ 1806 දී ගිණුම් කටයුතු විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ රාජකාරියෙන් ඉවත් කිරීමෙන් පසු තනතුරු නාමයේ වැදගත් වෙනසක් ඇතිකරනු ලැබීය. එහිදී තනතුරු නාමය සිවිල් විගණකාධිපති වශයෙන් වෙනස් කරනු ලැබීය.

    බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් රාජකාරියේ විෂය පථය පුළුල් කිරීම සම්බන්ධයෙන් තීරණය ගන්නා තුරුම විගණන කාර්යාලය අඛණ්ඩව වසර 35 ක කාලයක් පුරා වෙනම ඒකකයක් වශයෙන් පැවතුණි. පසුව වර්ෂ 1841 දී එය භාණ්ඩාගාරයේ අංශයක් සමග ඒකාබද්ධ කර එය රජයේ ඉහළ නිලධාරියෙකුගේ යටතට පත් කරනු ලැබීය. ඒ වන විට ඔහු විගණකාධිපති, ගණකාධිකාරී ජනරාල් හා ආදායම් පාලක යන ඉහළ තනතුරු 3 ක් හොබවමින් සිටියේ ය. ආදායම් පාලක වශයෙන් මෙකී නිලධාරියා දරන ලද ඉහළ තනතුර හේතුවෙන් ඔහුට ඒ වන විට රාජ්‍ය පාලනය කරනු ලැබූ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයින්ගේ විධායක සභාවේ සාමාජිකත්වය ද හිමි විය. නිසැකයෙන් ම මෙය විගණකාධිපති තනතුරේ තත්ත්වය ඉහළ නැංවීම සඳහා ඉවහල් වී ඇති අතර විගණන ක්‍රියාවලියේ ඵලදායීතාවය සම්බන්ධයෙන් සලකා බැලිමේ දී එය ප්‍රතිගාමී තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය.

    වර්ෂ 1907 දී විගණන කාර්යාලය භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවෙන් වෙන්කිරීමට උචිත පියවර ගන්නා තුරු ම වර්ෂ 66 ක කාලයක් පුරා විගණන දෙපාර්තමේන්තුව අඛණ්ඩව මෙකී සැලසුම අනුව ක්‍රියාත්මක විය . මෙම දූරදර්ශී තීරණය වැඩබලන යටත්විජිත ලේකම් විසින් පහත දැක්වෙන පරිද්දෙන් ප්‍රකාශයට පත් කරන ලදී. “අති උතුම් ආණ්ඩුකාරතුමා විසින් යටත්විජිත රාජ්‍ය ලේකම්ගේ අවසරය මත 1907 මාර්තු මස සිට විගණකාධිපති, ගණකාධිකාරී ජනරාල් සහ ආදායම් පාලක යන තනතුරු තනි නිලධාරියෙකු විසින් දරනු ලැබීම නැවත්වීමටත් ඉදිරියේ දී (අ) ආදායම් පාලක (ආ) යටත්විජිත විගණක යනුවෙන් හැඳින්වෙන වෙනම තනතුරු දෙකක් ඇතිකිරීමටත් ගණකාධිකාරී ජනරාල්ගේ රාජකාරී භාණ්ඩාගාරය විසින් ඉටු කළ යුතු බවටත් සතුටින් නියෝග කරනු ලැබේ.”

    විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ තනතුරු නාමය ද යටත්විජිත විගණන වශයෙන් වෙනස් කරන ලද බව ද සඳහන් කළ යුතු ය.

    එතැන් සිට මෙම දෙපාර්තමේන්තුව වෙනම ම ක්‍රියාත්මක වූ අතර 1931 දී ඩොනමෝර් ව්‍යවස්ථාව හඳුන්වා දීමත් සමග මෙහි ප්‍රධානියාගේ තනතුරු නාමය විගණකාධිපති වශයෙන් වෙනස් විය. මෙම තනතුරු නාමය අද වන විටත් අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ. ඒ දක්වා විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුර දරනු ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතික නිලධාරියෙකු විසිනි. ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ පත්වුණ ප්‍රථම විගණකාධිපති මෙන්ම මෙරටේ එම තනතු‍ර දැරූ ප්‍රථම ජාතිකයා වූයේ ඕ.ඊ. ගුණතිලක මහතා ය. (පසුව ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක විය) එමෙන්ම ඔහු 1948 දී බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් නිදහස දිනාගත් මෙම දිවයිනේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා ද විය.

    ගණකාධිකාරී සිට විගණකාධිපති මෙන්ම යටත්විජිත විගණක තනතුර දක්වා විවිධ වූ තනතුරු දරන සියලුම පුද්ගලයන් මෙරටේ ව්‍යවස්ථාපිත ආයතනවලට වගකිව යුතු නොමැති වූ නමුත් මෙරටේ සිටින බ්‍රිතාන්‍ය නියෝජිතයන් හරහා බ්‍රිතාන්‍ය ආණ්ඩුවට වගකිව යුතු විය. කෙසේ වෙතත්, 1931 දී ඩොනමෝර් ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග ප්‍රථම වතාවට විගණකාධිපති බ්‍රිතාන්‍ය ආණ්ඩුවට නොව මෙරටේ ව්‍යවස්ථාදායකයට වගකිව යුතු පුද්ගලයා බවට පත් කරනු ලැබීය.

    1931 ඩොනමෝර් ව්‍යවස්ථාව මගින් විගණන කාර්යය සම්බන්ධයෙන් යම් ප්‍රමාණයක විස්තර ඇතිව අර්ථකතනය කොට ඇති අතර 1947 දී ඩොනමෝර් ව්යවවස්ථාව වෙනුවට ගෙන ආ සෝල්බරි ව්යථවස්ථාව මගින් විගණන කාර්යභාරය සහ එහි බලතල වඩා පොදු ස්වරූපයකින් ඉදිරිපත් කොට ඇත. නිශ්චිත ප්‍රකාශනයක් වශයෙන් එමගින් විගණකාධිපතිවරයා වෙත විශාල ප්‍රමාණයක විෂය පථයක වගකීම පැවරීම පිළිබඳව සලකා බලා ඇත. මෙම ව්‍යවස්ථා දෙක මගින් විගණකාධිපතිවරයා විසින් රජයේ දෙපාර්තමේන්තුවල ගිණුම් විගණනය කිරීම සම්බන්ධයෙන් විධිවිධාන සලසා ඇති නමුත් පළාත් පාලන ආයතනවල සහ රජයේ සංස්ථාවල ගිණුම් විගණනය කිරීම සඳහා එසේ විධිවිධාන සලසා නොමැත. 1972 දී එතෙක් සිලෝන් නමින් හැඳින් වූ මෙරට ශ්‍රී ලංකා ජනරජය වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන තුරු මෙම ආයතන පළාත් පාලන ආයතන හා රජයේ සංස්ථාවලට අදාළ නීති විධිවිධාන යටතේ විගණකාධිපති විසින් විගණනය කරන ලදී.

    Find Audit Reports

    BCMath lib not installed. RSA encryption unavailable