• ඔබ මෙතැනය:  
  • මූලය > කාර්යභාරය සහ වගකීම්

    විගණකාධිපති විසින් විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා රාජ්‍ය අංශයේ ආයතනවල කාර්යසාධනය සහ ගණන්දීමේ වගකීම පිළිබඳ ස්වාධීන සමාලෝචනයක් සපයන අතර පාර්ලිමේන්තුවට වාර්තා කරයි. විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ, විධායකයේ සහ එහි සේවාදායකයන්ගේ අවශ්‍යතාවන් හා අපේක්ෂාවන් ඉටුකිරීමට මෙන්ම රාජ්‍ය අංශයේ කාර්යසාධනය සහ ගණන්දීමේ වගකීම සඳහා වටිනාකමක් එකතු කිරීමට අරමුණු කරයි. එබැවින් මෙම ස්වාධීන සමාලෝචනය සියළු ව්‍යවස්ථාපිත සහ වෙනත් නෛතික අවශ්‍යතාවන්ට උචිතබව, එකඟබව හා අනුකූලබව සහ මෙභෙයුම්වල ආර්ථිකභාවය, කාර්යක්ෂමභාවය සහ එලදායිත්වය සහතික කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලැබේ.

    විගණකාධිපතිගේ අධිකාර බලය

    රාජ්‍ය අංශයේ ආයතනවල ගිණුම් විගණනය කිරීම සඳහා වූ මූලික අධිකාරී බලය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාවෙන් විගණකාධිපති වෙත පැවරී ඇත.

    විගණකාධිපතිවරයා විසින් ආණ්ඩුවේ සියළුම දෙපාර්තමේන්තුවල ගිණුම්ද, අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ, අධිකරණ සේවා කොමිෂන් සභා කාර්යාලයේ, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයාගේ කාර්යාලයේ, පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ සහ මැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ, පළාත් පාලන ආයතන කාර්යාලවල සහ රාජ්‍ය සංස්ථා කාර්යාලවල ගිණුම්ද යම්කිසි ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුවට පැවරී ඇති වෙළඳ ව්‍යාපාරවල හෝ වෙනත් ව්‍යාපාරවල ගිණුම්ද විගණනය කළ යුත්තේය.

    විගණකාධිපති වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති බලතල පහත දැක්වෙන ව්‍යවස්ථාවන් මගින් සවිස්තර වී හෝ ප්‍රසාරණය වී ඇත

    • රාජ්‍ය සංස්ථා සඳහා විගණන ප්‍රතිපාදන සලසන 1971 අංක 38 දරන මුදල් පනතේ II කොටස.
    • පළාත් සභා සඳහා විගණන ප්‍රතිපාදන සලසන 1987 අංක 42 දරන පළාත් සභා පනත (23 වගන්තිය).
    • මහ නගර සභා සඳහා විගණන ප්‍රතිපාදන සලසන මහ නගර සභා ආඥා පනතේ (252 අධිකාරිය) 219 වගන්තිය.
    • නගර සභා සඳහා විගණන ප්‍රතිපාදන සලසන නගර සභා ආඥා පනතේ (255 අධිකාරය) 181 වගන්තිය
    • ප්‍රාදේශීය සභා සඳහා විගණන ප්‍රතිපාදන සලසන 1987 අංක 15 දරන ප්රා1දේශීය සභා පනත (172 වගන්තිය)
    • ගොවිජන සංවර්ධන සභා සඳහා විගණන ප්‍රතිපාදන සලසන 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන සභා පනත (58 වගන්තිය)
    • ක්‍රීඩා සංගම් සඳහා විගණන ප්‍රතිපාදන සලසන 1993 අංක 47 දරන ක්‍රීඩා සංගම් පනත (9 වගන්තිය).

    වර්තමානයේ සමාගම් පනත යටතේ සංස්ථාපිත, විශාල රාජ්‍ය ආයෝජන සහිත පරිපාලන අරමුදල් සහ සමාගම් විගණකාධිපතිගේ විෂය පථයට ගැනේ. ලබාගත හැකි වූ තොරතුරු අනුව එවැනි සමාගම් 94 ක් සහ කොටසක් හෝ සම්පූර්ණයෙන් රජය සතුවු රු.මිලියන 30,674 ක කොටස් ප්‍රාග්ධනයක් සහිත සංවර්ධන බැංකු 07 ක් විය. මෙම ආයෝජන පිළිබඳව භාණ්ඩාගාර පාලනය ඉතා දුර්වල බවද ප්‍රත්‍යක්ෂ විය. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යස්ථාවෙන් දක්වා ඇති පරිදි රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ පාලනයක් ඇති කිරීමට පාර්ලිමේන්තුවට සහාය වීමට හැකි වන පරිදි විගණකාධිපතිගේ විෂය පථය හා කාර්ය භාරය ප්‍රසාරණය කිරීම අත්‍යාවශ්‍ය වේ. රාජ්‍ය සම්පත් සම්පූර්ණයෙන් හෝ කොටසක් හෝ, ඍජුව හෝ වක්‍රව හෝ යොදවනු ලැබූ, යම් ලිඛිත නීතියක් යටතේ ස්ථාපිත කිසියම් මණ්ඩලයක් හෝ අධිකාරියක් ආවරණය වියයුතු වන පරිදි විගණන පනත් කෙටුම්පතට දැනටමත් සංශෝධනයක් යෝජනා කර ඇත.

    කාර්ය සාධනය හා කාර්ය භාරය ඉටු කිරීමේදී විගණකාධිපතිට කාර්යයන්ට සහාය විමට සුදුසුකම් ලත් විගණකවරුන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විගණකාධිපති වෙත බලතල පැවරී ඇත. තවද විගණනයට අදාල වන කාර්මික, වෘත්තීය හා විද්‍යාත්මක ගැටළු නිරාකරණය කර ගැනීමේදී අවශ්‍ය වන විශේෂඥ සහාය ලබා ගැනීමටද ව්‍යවස්ථාවෙන් බලය ලැබේ.

    කාර්ය සාධනය හා රාජකාරී ඉටු කිරීමේදී සියළු පොත්පත් හා වාර්තා, ගබඩා සහ වෙනත් දේපලවලට පිවිසීමට සහ අවශ්‍ය තොරතුරු හා පැහැදිලි කිරීම් ලබා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(5) ව්‍යවස්ථාව අනුව විගණකාධිපතිට බලතල පැවරී ඇත.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(5) ව්‍යවස්ථාව අනුව විගණකාධිපති විසින්, තම කාර්ය සහ කර්තව්‍යය ඉටු කිරීමේදී, සියළු පොත්පත්, වාර්තා, වාර වාර්තා සහ වෙනත් ලියකියවිලි ලබා ගැනීමේද, ගබඩා සහ වෙනත් දේපළවලට පිවිසීමේද, එකී කාර්ය සහ කර්තව්‍යය ඉටු කිරීම සඳහා අවශ්‍ය වියහැකි තොරතුරු ලබා ගැනීමේ ද, කරුණු පැහැදිලි කරවා ගැනීමේද හිමිකම ඇත්තේය.

    විගණකාධිපති තනතුරෙහි ස්වාධීනත්වය

    විගණකාධිපතිගේ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති අතර එහි 153 ව්‍යවස්ථාවෙහි දැක්වෙන පරිදි,

    ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය සහිතව ජනාධිපතිවරයා විසින් විගණකාධිපතිවරයා පත් කරනු ලබන අතර යථා පැවැත්මෙන් සිටිනා තාක් ස්වකීය ධූරය දරන්නේය.

    රෝගාතුර විම, ශාරීරික හෝ මානසික දුර්වලතාවය හෝ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමන් අනතුරුව විගණකාධිපතිවරයා ධූරයෙන් ඉවත් කළ හැකිය.

    විගණකාධිපතිගේ වැටුප පාර්ලිමේන්තුව විසින් නිශ්චය කළ යුතු බවත්, එසේ නිශ්චය කරන ලද වැටුප ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන බවත්, ඔහුගේ ධූර කාලය තුළ එකී වැටුප අඩු නොකළ යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 153 ව්‍යවස්ථාවෙහි තවදුරටත් දක්වා ඇත.

    විගණකාධිපති කිසිදු අමාත්‍යාංශයක හෝ රාජ්‍ය නිලධාරියෙකුගේ හෝ අධීක්ෂණය යටතට නොගැනේ

    Find Audit Reports

    BCMath lib not installed. RSA encryption unavailable